සංවාද මණ්ඩපය නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ප්‍රධානම හේතුව වන්නේ විවිධ අදහස් ඇති බ්ලොග් කියවන්නන්ට තම අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයයි. මෙහිදී නිර්ණාමිකව වුවද අදහස් පළ කළ හැකි වුවද ඒ හරහා සංවාදයක් නිර්මාණය කිරීමට නම් ඔබේ අදහසට එකඟව හෝ විරුද්ධව පළ වන අදහස් වලට නැවත පිළිතුරු දීමට හැකි පරිදි ඔබේ විද්‍යුත් ලිපිනයක් ලබා දීම වැදගත් වනු ඇත.
අප මෙය විවාද මණ්ඩපයක් ලෙස නම් කිරීමෙන් වැළකීමටද සාධාරණ හේතුවක් ඇත. මන්ද අප හැමදෙනා සතුව විවිධ වූ අදහස් තිබිය හැක. නමුත් අප අනෙකාගේ අදහස් වලට ගරු නොකරන්නේ නම් හා එය හෙළා දකින්නේ නම් කිසිදා ඔහුගේ තුළ අපගේ අදහස ගැනද පිළිගැනීමක් ඇති කළ හැකි නොවන්නේය. එනිසා සංවාද මණ්ඩපයේදී අප මුලින්ම කරන්නේ අනෙකාගේ (විරුද්ධ මතධාරීන්ගේ) මතය ඉවසීමටත් එයට ගරු කීරීමටත් බ්ලොග් කියවන්නන් පෙළඹවීමයි. දෙවනුව ඉවසීමෙන් යුතුව තම මතය ඉදිරිපත් කිරීමටත් ඔවුන් පොළඹවන්නේමු. මේ හරහා සියළු ආකාරයේ අදහස් හා මතවාදයන්ට එකම වේදිකාවක ගණුදෙනු කිරීමට හැකි ඉඩකඩ සලසා දෙන අතර මේ හරහා මහත්මා හැසිරීමකින් යුතු මතධාරීන්ගේ විවිධත්වය කැටිකොට දැක්විමට අදහස් කරන්නෙමු.
සංවාද මණ්ඩපයේ එක් මාතෘකාවකට අදාලව අප දීර්ඝ අදහස් දැක්වීමක් නොකරන අතර ප්රස්තුතය විස්තර කිරීමක් පමණක් කරනු ලබයි. බ්ලොග් කියවන්නන් මෙහි සංවාද ගොඩනගන අතර අප උත්සහ ගන්නේ මධ්‍යස්ථ වූද සාධාරණවූද සංවාද මණ්ඩපයක් මේ හරහා ගොඩනැගීමට පමණි. මේ අනුව සංවාද මණ්ඩපය තුළ තවත් එක් මතවාදයක් දරන්නන් පිරිසක් පමණක් පාලූගෙයි වලං නොබිඳින අතර විවිධ වූ මතවාද දරන්නන් මෙහි සමාන අයිතිවාසිකමක් යටතේ තම අදහස් ලියා දක්වනු ඇත.
එබැවින් අපේ මේ ආරාධනය ඔබ සැමටයි. එන්න හිතේ නලියන දේ අකුරු කරන්න. හෙට සිට සංවාද මණ්ඩපයේ සංවාද මාතෘකා ඔබ වෙනුවෙන් විවෘත වනු ඇත. එනම් මේ මතවාද දරන්නන්ගේ කාලයයි. මතවාද හප්පන්න. ඒ තුළින් පිපී හිනැහෙන මේ සුවඳවත් මල් දැක සතුටු වන්න.
Saturday, February 6, 2010
Subscribe to:
Comments (Atom)